වර්තමාන සමාජය තුළ කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරු වන රෝගී තත්ත්වයකි අතේ ඇඟිලි ආශි‍්‍රතව සහ අල්ලේ හිරිය. අතීතයේ විසූ අය සොබා දහමට ඉතා සමීපව ජීවත් වූ අතර එදා මිනිසා තම ආහාරය පිළියෙල කර ගත්තේ ද ස්‌වභාවිකවමය.
අළුත් එළවළු, පලාවර්ග, පලතුරු යනාදිය දෛනික ආහාර වේලට එකතු කරගත් එදා කාන්තාව ආහාර පිළියෙල කිරීමේ දී වුව ද කෘත්‍රීම රසාකාරක භාවිත කළේ නැත.
නමුත් අද ආහාරයට ගන්නේ වසවිසය.
විවිධ කෘතිම රසකාරක වලින් රස කරන ලද ක්‌ෂණික ආහාර වර්ග ද නොයෙක් වර්ණ යොදා වර්ණ ගැන්වූ නොයෙක් බීම වර්ග ද නූතන සමාජය තුළ ඉතා පහසුවෙන් ඉක්‌මණින් ලබාගත හැකි නිසා ඒවා මිල දී ගෙන තම ආහාරය සම්පූර්ණ කර ගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. නීරෝගීකම නොමැති වී නොයෙක් ලෙඩ රෝග හට ගැනීමට මෙය එක් හේතුවක් වන අතර නූතන කාන්තාව අද සිටින්නේ ද දැඩි කාර්යබහුල තත්ත්වයකය. නොනවතින ජීවන අරගලයේ අතිශයින් වෙහෙසට පත්වන්නේ කාන්තාවයි.
මෙම හේතුව නිසාවෙන්දෝ නූතන කාන්තාවන් අතර ඉහත සඳහන් කළ රෝගී තත්ත්වය බහුල වශයෙන් දක්‌නට ලැබෙනවා. ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගෙන් වැඩි පිරිසක් ප්‍රතිකාර ඉල්ලා සිටින්නේ ද මෙම අත්පාවල හිරිය සහ වේදනාව සඳහාය.
මේ අතර අල්ලේ සහ අතේ ඇගිලිවල හිරියට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව ද පෙනී යයි. කාන්තාවන් මෙම රෝගී තත්ත්වයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ද දක්‌නට ලැබේ. මෙම රෝගී තත්ත්වයට වැඩි වශයෙන් භාජන වන්නේ වයස 45 – 55 අතර පසුවන්නෝය.
එසේම මෙම වයස් සීමාව කාන්තාවන්ගේ මාසික ක්‍රියාවලිය එනම් ඔසප්වීම නතර වීමට ආසන්න හෝ නරත වූ වයස් සීමාවයි. එබැවින් ආර්තවහරණය වූ කාන්තාවන්ට වැඩි වශයෙන් මෙම රෝග තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බව පෙනෙන්නට තිබේ.
ගෙදර ගෘහ පාලිකාවන් හැටියට දෛනිකව ක්‍රියාශීලිව වැඩපලෙ හි නිරත වන කාන්තාවන්ට ද ලිපිකරු, යතුරු ලේකා, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් වැනි වෘත්තීන් හි නියෑලෙන කාන්තාවන්ට ද මෙම රෝග තත්ත්වය වඩාත් බලපෑම් ඇති කරන බව පෙනෙන්නට තිබේ.
රෝගී තත්ත්වය හඳුනාගන්නේ කෙසේද ?
මෙම රෝගයට ගොදුරු වූ අය පවසන රෝග ලක්‌ෂණ වන්නේ ඇඟිලි හිරිය, අත්ලේ හිරිය, ඇඟිලි චලනය කිරීමේ අපහසුතාවය දෑත වෙහෙසා වැඩ කරන විට ඇගිලිවල ඇතිවන වේදනාව ඇගිලි නැවීමේ දිගහැරීමේ අපහසුතාවය, නින්දේදී අත් හා ඇගිලි හිරිවැටීම පුපුරු ගැසීම යනාදියයි.
දිගු කාලයක් මෙම මෙම රෝග ලක්‌ෂණ වලින් පීඩා විඳින රෝගීන් පරීක්‌ෂා කිරීමේ දී පෙනී ගිය වැදගත් කාරණයක් වන්නේ අල්ලේ සහ අතැඟිලිවල ස්‌පර්ශය දැනීමේ සුළු අඩුවීමක් මෙන්ම අත්ලේ මාංශපේශිවල සුළු වැහැරීම් තත්ත්වයක් දක්‌නට ලැබීමයි. මුල් අවස්‌ථාවල දී ඇගිලි කෙළවර හිරිය පසුව ඇතිවන වේදනාව හා ඇඟිලි නැවීමේ දිගහැරීමේ අපහසුතා තව දුරටත් දැකිය හැකි රෝග ලක්‌ෂණ වේ.
ශරීරයෙ හි උද්ගත වන වාත රක්‌ත දෝෂ කෝප තත්ත්ව මත හා එම බලපෑම් ඇති කරනු ලබන ස්‌ථාන පදනම් කරගෙන එක් එක් රෝගීන්ට ඉහත සඳහන් කළ විවිධ වූ ලක්‌ෂණ පහළ විය හැක. මෙම රෝගී තත්ත්වය පිළිබඳව වැඩි දුරටත් පැහැදිලි කිරීමක් කරන්නේ නම් අල්ලේ සහ ඇගිලි වල හිරිය මූලික කරගත් රෝග තත්ත්වයන්ට හේතු වන ව්‍යාධිවේදාත්මක කරුණු කීපයක් පැවතිය ද මෙහි දී විශේෂයෙන් සඳහන් කරන්නේ ඉන් එක් ප්‍රධාන කරුණක් පිළිබඳ ව පමණි…
එනම් ශරීරයේ යටි බාහුව ඔස්‌සේ ශාඛා විහිදුවන ස්‌නායුවක් වූ මධ්‍ය බාහුතා ස්‌නායුව (Median nerve ) සම්බන්ධයෙනි. මෙම ස්‌නායුව මැණික් කටුව සීමාවේ දී අතේ පවතින ඛන්ඩරා හා පටක අතරින් ගමන් කෙරේ. මේ සඳහා මැණික් කටු සීමාවේදී අවකාශ ලබා දී ඇත. ශාරිරික වශයෙන් ඇතිවන වාත රක්‌ත ආදී දෝෂ කෝප හේතුවෙන් මැණික් කටු සන්ධියේ ඇති පටක හා ඛණ්‌ඩරාවල ඉදිමුමක් හෝ ඝණවීමක් නිසා මධ්‍යබාහුකා ස්‌නායුව ගමන් කරන අවකාශය පටුවීමෙන් එම ස්‌නායුව පීඩනයට පත්වේ. මෙන්න මේ හේතුව නිසා ප්‍රථමයෙන් සඳහන් කළ රෝග ලක්‌ෂණ පහළ වේ.
බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ශල්‍ය කර්මයකට භාජනය කළ යුතු රෝගයක් ලෙස (carpal tunnel Syndrome) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද මෙම මධ්‍යබාහුකා ස්‌නායුව මූලික කොට ගෙන පහල වන රෝග ලක්‌ෂණ සමුදාය ඇසුරු කරගත් පීඩා තත්ත්වයයි.
මෙම රෝගී තත්ත්වය පිළිබඳව ආයුර්වේද ග්‍රන්ථවල රෝග නිධාන හා චිකිත්සා පැහැදිලිව සඳහන් කර ඇත. මේ පිළිබඳව කිව යුතු ඉතා වැදගත්ම කාරණය වන්නේ මෙම රෝග තත්ත්වයෙන් පීඩා විදින රෝගීන් බොහෝමයක් ශල්‍යකර්ම කිරීම සඳහා නැඹුරු වුව ද ශල්‍යකර්මයක් කළ යුතු බවට නිර්දේශ වූ බොහෝමයක් රෝගීන් ශල්‍ය කර්මයකින් තොරව සම්පූර්ණ සුවය ලැබීම ආයුර්වේ ද ප්‍රතිකාරයේ විශිෂ්ඨත්වයයි. වතාවක් ශල්‍යකර්මයකට මුහුණදීමෙන් අනතුරුව වුව ද නැවතත් එම රෝග තත්ත්වයට ගොදුරු වූවන් ද සමාජය තුළ දක්‌නට ලැබේ. එබඳු පුද්ගලයන් ආයුර්වේද ප්‍රතිකාර වලින් සාර්ථක ලෙස සුවය ලබා තිබෙන බව අත්දැකීම් අනුව සඳහන් කළ හැක.
ශල්‍ය කර්මයකට නොගොස් ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම රෝගී තත්ත්වය සුව කළ හැකි බව විශේෂයෙන් කිව යුතුයි. සමහර විට මෙය කියවන ඔබ ද මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ප්‍රතිකාර ලබන අයෙකු විය හැක. එසේ නොමැති නම් මෙවැනි රෝග ලක්‌ෂණ ඔබට ද තිබිය හැක.
කිසියම් කාල සීමාවක් ක්‍රමවත්ව හා විධිමත්ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගයෙන් අත් මිදීමට පුළුවන. එසේ සුවය ලැබූ බොහෝ අය වත්මන් සමාජය තුළ දැකිය හැක.
මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී ශාරීරික දෝෂ ශෝධනය කිරිමත් දෝස සමනය කිරීමත් ප්‍රථමයෙන් කරනු ලබන ප්‍රතිකාරය වේ.
මෙමගින් ශරීරයේ කුපිත දෝෂයන් සමනය කිරීමට හෝ දොස් ඉවත් කිරීමට වෛද්‍යවරයා කටයුතු කරනු ඇත. මේ සඳහා ආයුර්වේදය අනුගමනය කරන්නා වූ ක්‍රමවේද රාශියක් ඇත. තෙල් ගැල්වීම, විවිධ තැවීම් ක්‍රම, දුම් ඇල්ලීම, ආලේප වර්ග, වමණ ක්‍රියා, විරේක කිරීම, විවිධ බෙහෙත් වර්ග සිරුර අභ්‍යන්තරයට යෙදීම යනාදී ප්‍රතිකාර ක්‍රම යොදා ගැනේ.
මධ්‍යබාහුක නාඩිය පීඩාවට පත්විමෙන් ඇතිවන රෝග තත්ත්වයේදී ද සිරුරේ දෝෂ කෝප තත්ත්වයන් සමනය කිරීම සඳහාත් ස්‌ථානීය පටකවල ක්‍රියාකාරිත්වය ක්‍රමවත්වීම සඳහාත් ඉහත සඳහන් කළ ප්‍රතිකාර ක්‍රමවේද අනුගමනය කරනු ලැබේ.
එක් එක් අවස්‌ථාවේ පවතින දෝෂ කෝප ස්‌වරූපය හොඳින් අවබෝධ කරගත් දක්‌ෂ වෛද්‍යවරයාට සුදුසු ප්‍රතිකාර ක්‍රමවේද භාවිත කිරීම පහසු කාර්යයකි. එබැවින් උචිත ප්‍රතිකාර නිසිලෙස නිර්දේශ කිරීමෙන් මෙම රෝගීන් ශල්‍ය කර්මයකට නොගොස් ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවපත් කළ හැක.
මෙම රෝගය වළක්‌වා ගැනීම සඳහා නිසි ප්‍රතිකාර මෙන්ම රෝගියාගේ පැවැත්ම ද වැදගත් වේ. වෛද්‍ය උපදෙස් මත තම සිරුරට ගැළපෙන ආහාර පාන ගැනීමට පුරුදුවීමත් ජලය හැකි තරම් පානය කිරීමත්, මළ මුත්‍ර බැහැර කිරීම ක්‍රමවත්ව පවත්වා ගැනීමත් පිරිසිදුකම මෙන්ම සිරුරට අවශ්‍ය ව්‍යායාමවල නිරතවීමෙත් මෙම රෝගය වළක්‌වා ගැනීමට ඉවහල් වේ.
විශේෂයෙන් ඕනෑම අයෙකුට තම සෞඛ්‍යමය තත්ත්වය අනුව සිරුරට හිතකර ආහාර පාන පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන ඒ අනුව දෛනික ආහාර සකස් කර ගැනිමෙන් බොහෝ ලෙඩ රෝග වලක්‌වා ගත හැක.
ඔබටත් අතේ, අල්ලේ හෝ ඇඟිලිවල හිරිය ඇඟිලි නැවීමේ අපහසුතාවය වැනි රෝග ලක්‌ෂණ තිබේ නම් ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවපත් විය හැක.
වෛද්‍ය සනත් වික්‍රමසිංහ
ඔරුතොට ආයුර්වේද වෛද්‍ය – පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
